Wednesday, January 6, 2010

රට හදන තැන...

දිගු කලකට පසු නැවතත් ලියන වග නම්...

මා පසුගිය දිනෙක සමුද්‍ර දේවි දුම්රියෙන් ගාල්ලෙන් කොලඹ බලා පැමිණෙමින් සිටියෙමි. මේ දිනවල දුම්රිය ගමන දේශපාලන කථා වලට තෝතැන්න කි. බොහො අය රට හදන හැටි කථා වේ. "ඕක ඔහොම හරියන්නෙ නෑ, මෙහෙම යි වෙන්න ඕන" ආදී නොයෙක් දේ ගැන වාද විවාද වේ.

අළුත් අවුරුද්දේ හා-පුරා කියා වැඩ ඇල්ලීමට කොලඹ පැමිණෙමින් මා කියන පුද්ගලයාද එසේ රට හදන හැටි ගැන ඔහු ද අදහස් ද එකතු කරමින් පාලකයින් ට දෙස් දෙයි. ලැබුවා වූ 2010 අවුරුද්ද සැමරීමට ඔවුන් ගෙනා කැවිලි පෙවිලි හුවමාරු කරගනිමින් රට හැදීමට ඉතා වටිනා අදහස් එකතු කරයි.

මේ අතරතුර කේක් ගෙඩිය ඔතා තිබූ පොලිතීන් දැවටුම ඔහු ජනේලයෙන් එළියට වීසි කර නැවතත් රට හදන්න පටන් ගති!

Wednesday, August 26, 2009

මාළු බෑම...

දකුණු පළාත් සභා ඡන්දයත් ළඟ ළඟම එයි. මාත් දකුණේ මනුස්සයෙක් නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. සෑම ඡන්දයකදී ම ඡන්ද ගොඩ වැඩි කර ගැනීම ට දේශපාලකයන් විවිධ උපක්‍රම යොදා ගනී. මට හිතෙන හැටියට නම් උපක්‍රම අවශ්‍ය වන්නේ සැබැවින්ම ඡන්දය දීමට තරම් හේතුවක් ජනතාවට නැතිවූ විටය. :)

වෙලෙඳ භාණ්ඩයක ප්‍රචාරණය සඳහා අධික වියදමක් සහ වෙහෙසක් දැරීමට සිදුවන්නේ එය මිළදී ගැනීමට සාධාරණ හේතුවක් නොමැති වූ විටය. එවිට නිෂ්පාදකයා නැති අවශ්‍යතාවයක් ඉස්මතු කර භාණ්ඩය කෙසේ හෝ විකුණා ගනියි.

දකුණු පළාත් සභාවේ ඡන්ද බෑම සඳහා අලුත් ඇම දෙකක් ලෑස්ති කරල කියල ආරංචියක් ආවා. නිළියො දෙන්නෙක් කියලයි ආරංචිය. මට නම් හිතෙන්නේ මෙයින් දකුණේ ජනතාව හෑල්ලුවට ලක් වී ඇති බවයි. ප්‍රදර්ශන භාණ්ඩ මගින් ඡන්ද එකතු කිරීම මෙහි අරමුණ වී ඇති බව පෙනේ.

කෙසේ හෝ වේවා, මෙය දකුණේ ජනතාවට කරන අපහාසයක් මෙන්ම, දකුණේ ජනතාවගේ මන්ද බුද්ධිය මැන බැලීමේ කදිම උපක්‍රමයක් ද වේ.

Thursday, August 20, 2009

තාර්කික සිතීම

තාර්කික සිතීම යනු සිතීමේ ක්‍රියාවලිය තුල තර්කානුකූලව සහ බුද්ධියෙන් විමසා යමක් තේරුම් ගැනීම හෝ නිර්වචනය කර ගැනීමයි. තීරණයක් ගැනීමේදී "එය-එසේ-නම්-මෙය" යන තර්ක කිරීමට යටත් වේ. එවිට අප හට හැඟීම් වලට යට වූ හෝ තවත් කෙනෙක් කියූ නිසා හෝ නොව බුද්ධියෙන් විමසා තාර්කිකව එලැඹුනු තීරණයක් හෝ අදහසක් කරා එළැඹිය හැක.

එය විශ්ලේශණය මත පදනම් වූ ක්‍රියාවලියකි. මෙම සිතීමේ රාමුව තුල තමන් සතුව ඇති සාධක තාර්කිකව සහ මනා සිහියකින් යුක්තව ඇගයීමෙන් පසු තීරණයක ට හෝ අදහසකට එළැඹීම යි.

කෙනෙක් තාර්කික වන්නේ කෙසේද?
  • තීරණයක් ගැනීමට පෙර පක්ෂ-ප්‍රතිපක්ෂ (pros-and-cons) කරුණු පිළිබඳ මැනවින් විමසා බැලීම සහ ඒවාට අඩු වැඩි වශයෙන් වටිනාකම් ලබා දීම.
  • ඉන් අනතුරුව එම කරුණු සිහියෙන් සහ නුවණින් (බුද්ධියෙන්) විමසා බලා අවසන් තීරණයට එළැඹීම.
යොමු:

Saturday, August 15, 2009

ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා...

මේ තවත් බස් කතාවක්. පහුගිය දිනෙක මා කැලණියෙන් 154 බස් රථයට ගොඩ වූයේ වැල්ලවත්ත ට යෑමේ අරමුණෙන්. මාගේ ගමනාන්තය ට බස් රථය එලැඹෙත්ම මා සීනුව නාද කල ද බස් රථය දිගටම ධාවනය වුනි. මා නැවත වරක් සීනුව නාද කලේ ඊලඟ නැවතුමෙන් හෝ බැස ගැනීමේ අරමුණෙනි. එවර ද බසය නොනවත්වා ධාවනය වුනි.

මා මෙතෙක් දුර පැමිණියේ ඉදිරි මංසංධියේ පොලීසියේ මහතුන් සිටින නිසා වෙන්, ඔවුනට මේ සම්බන්ධයෙන් පැමිනිලි කිරීමේ අටියෙනි. එහෙත් එදින පොලීසියේ මහතුන් නොසිටියහ.

ඉන්පසු මා කොන්දොස්තර තැන ගෙන් විමසූ පසු ඔහු ද සීනුව නාද කලේය. එවර ද බසය නොනවත්වා ධාවනය වුනි. ඉන්පසු මා කොන්දොස්තර සමග රියැදුරු වෙත ගොස් බසය නවත්වා ගතිමි. එවේලෙහි මා කොන්දොස්තර තැන ගෙන් දෙවෙනි වර සීනුව නාද කිරීමෙන් පසුද නොනවත්වා ධාවනය කිරීමට කරුණු විමසීය.

කොන්දොස්තර: බස් එක නවත්තන්න නම් බෙල් එක ගහන්න ඕන.
මා: ඇයි දැන් ඔහෙත් බෙල් එක ගැහුවෙ?
කොන්දොස්තර: බස් එක නවත්තන්න නම් බහින කෙනා බෙල් එක ගහන්න ඕන.

එවේලෙහි මා හට හිතට තරහක් මෙන්ම මුවට සිනහවක් පහල වූවද එය සඟවා ගෙන බස් රථයෙන් මා බැස ගියෙමි. දැනුදු කොන්දොස්තර ගේ පිලිතුර මතක් වන වාරයක් පාසා මා හට සිනහ පහල වෙයි.

Saturday, June 6, 2009

බස් සමාගම

මා කලින් සටහනින් පැවසූ පරිදි බස් රථ රියැදුරන් ගේ තරඟකාරී ධාවනය බොහෝ දුරට සීමා කිරීමට හැකි ක්‍රමයක් මා පහත යෝජනා කරමි.

මෙම බස් තරඟය රියැදුරා සහ කොන්දොස්තර 'දවසෙ කුලියට' වැඩ කිරීම නිසා හට ගන්නේ යැයි මා විශ්වාස කරමි. 'එදා වේල' හොයන රැකියාවක් වෙනුවට මාසික වේතනයක් ගන්නා රැකියාවක් බවට පත් කිරීමෙන් මෙම රැකියාව වැදගත් හා ගෞරව සම්පන්න රැකියාවක් කිරීමේ හැකියාවක් පවතී.

මාසික වේතනයක් ගන්නා රැකියාවක් බවට පත් කිරීමෙන් ඔවුන් තුල (රැකියාව සම්බන්ධයෙන්) ඇති ආත්මාර්ථකාමී හැඟීම් පහව යයි. එමගින් පහත සඳහන් ගැටළු පහසුවෙන් නිරාකරණය කර ගත හැක.

1. බස් නැවතුම් වල අනවශ්‍ය ලෙස රථය නවතාගෙන සිටීමෙන් වැඩි මගීන් පිරිසක් නංවාගත හැකි බව සිතීම.
2. අනෙක් බසය අභිබවා යෑමෙන් වැඩි මගීන් පිරිසක් ගෙනයාමට හැකි බව සිතීම.

මා යෝජනා කරන්නේ සියලුම පෞද්ගලික සහ රජයේ බස් රථ එක් සමාගමක් යටතට ගැනීමයි. එහෙත් මෙහිදී බස් හිමියන් සතු හිමිකාරිත්වය එලෙසම පවතී. වෙනස වන්නේ තමන් සතු බස් රථ ගෙවීමේ පදනමක් මත 'බස් සමාගම' ට ලබා දීමයි. බස් සමාගම මගින් සියළු පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.
මෙහිදී අපට රියැදුරන් හා කොන්දොස්තර මහතුන් හට නිළ ඇඳුමක් ලබා දිය යුතුය. එයින් ඔවුන් තුල තමන් කරණ රැකියාව කෙරෙහි ගෞරවයක් හා ආත්මාභිමානයක් ඇතිවේ. මා සංචාරය කර ඇති නෙදර්ලන්තය, ස්වීඩනය වැනි රටවල් හි ද ඇත්තේ මෙම ක්‍රමය යි.

තවද, නිතර ගමන් ගන්නා මගීන් හට කාඩ් පත් ක්‍රමයක් ද හඳුන්වා දිය හැක. මෙයින් මුදල් භාවිතය අවම කර ගත හැක.

මෙහි පැමිණෙන මෙම සටහන කියවන ඔබ, මෙහි සඳහන් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඔබේ අදහස් ද දක්වන්න. එමගින් අපට මෙහි ඇති අඩුපාඩු මගහරවා ගනිමින් ඉදිරි පියවරක් තැබිය හැක.

Thursday, June 4, 2009

කාර්, බස්, ලොරි, බර කරත්ත, ...

මද නිහැඬියාව කින් පසුව මා නැවතත් "මගේ දින පොත" ලිවීමට පටන් ගතිමි.

අද මා හට අපූරු සබැඳුමක් ලැබුනි.

http://www.mahamagatapansil.org/

මෙය "ඉෂාන් ද සිල්වා" මහතා ගේ සංකල්පය කට අනුව "හරිත මග එකමුතුව" එකතුව මගින් මහමගට පන්සිල් සංකල්පය ප්‍රචලිත කිරීම සඳහා ආරම්භ කරන ලද වැඩ පිළිවෙලකි. විනය ගරුක මහ මග භාවිතාවක් උදෙසා පුරුදු පුහුණු කරගත හැකි සරල ආචාර ධර්ම පද්ධතියක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.

පහත රූප සටහනෙහි එහි විස්තර කෙරෙන මූලික කරුණු දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා ඉහත වෙබ් අඩවියට පිවිසෙන්න.


-- උපුටා ගැනීම "මහමගට පන්සිල්" වෙබ් අඩවිය

නීති රීති පනවා යමක් පාලනය කරනවාට වඩා එය පුරුද්දක් බවට පත් කිරීමෙන් ස්වයං පාලනයක් ඇති කර ගැනීම වඩා කල් පවතින විසඳුමක් වේ යැයි මට ද හැඟේ. මෝටර් රථ ධාවක රියැදුරන් තුල මනා හික්මීමක් ඇති කල යුතුව ඇත. විශේෂයෙන් පෞද්ගලික බස් රථ ධාවක රියැදුරන් තුල මනා හික්මීමක් ඇති කල යුතුව ඇත.

එය මහමග පමණක් නොව පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන් ගේ ආරක්ෂාවට ද හිතකර වේ. මක් නිසාද යත්, බස් රථ රියැදුරන්ට ඇතැම් විට පදික වේදිකාව සහ මහමගෙහි වෙනස අඳුනා ගැනීමට අසීරු වන බැවිනි.

බස් රථ රියැදුරන් බොහෝ විට "ගෝන් ෆ්‍රී" තරඟ වලට සහභාගී වේ.

මෙම "ගෝන් ෆ්‍රී" තරඟ වලක්වා ගැනීමට හැකි ක්‍රමයක් ගැන ඉදිරි ලිපියකින් සොයා බලමු.

Sunday, January 25, 2009

යුද්ධය සහ ප්‍රභාකරන්

ආසන්න වශයෙන් අවුරුදු 30 පුරා ඇදුනු ශ්‍රී ලංකාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදීන් අතර යුද්ධය දැන් අවසානයක් කරා එලැබෙමින් තිබේ. එයට ජනාධිපති මෙන්ම ආරක්ෂක ලේකම් ගෙන් ලැබුනු මග පෙන්වීම, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ගේ කැපවීම සහ සමස්ත ලක් වාසීන්ගෙන් ලැබුනු සහය ඊට හේතුවී තිබේ.

දැන් මාතෘකාව වී ඇත්තේ ප්‍රභාකරන් පැන ගියාද නැත්ද යන්නයි. හමුදාපති වරුන් පවසන්නේ ඔහුට පැන යාමට ඉඩ කඩක් නැති බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීමට නම් ඔහු විනාශ කල යුතුය යන්න ඇතැමුන්ගේ මතයයි.

නමුත් මාගේ මතය නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීම කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය විනාශ කිරීම පමනක් සෑහේ යන්නයි. ජනතා විමුක්ති පෙරමුණ එවකට පැවති ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මගට තල්ලු කරාක් මෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ද, එසේ ප්‍රජාතන්ත්‍රවාදී මගට යොමු කල යුතුව ඇත. කරුනා අම්මාන් සහ පිල්ලෙයාන් එයට දිය හැකි හොඳම උදාහරණ වේ.