Saturday, June 6, 2009

බස් සමාගම

මා කලින් සටහනින් පැවසූ පරිදි බස් රථ රියැදුරන් ගේ තරඟකාරී ධාවනය බොහෝ දුරට සීමා කිරීමට හැකි ක්‍රමයක් මා පහත යෝජනා කරමි.

මෙම බස් තරඟය රියැදුරා සහ කොන්දොස්තර 'දවසෙ කුලියට' වැඩ කිරීම නිසා හට ගන්නේ යැයි මා විශ්වාස කරමි. 'එදා වේල' හොයන රැකියාවක් වෙනුවට මාසික වේතනයක් ගන්නා රැකියාවක් බවට පත් කිරීමෙන් මෙම රැකියාව වැදගත් හා ගෞරව සම්පන්න රැකියාවක් කිරීමේ හැකියාවක් පවතී.

මාසික වේතනයක් ගන්නා රැකියාවක් බවට පත් කිරීමෙන් ඔවුන් තුල (රැකියාව සම්බන්ධයෙන්) ඇති ආත්මාර්ථකාමී හැඟීම් පහව යයි. එමගින් පහත සඳහන් ගැටළු පහසුවෙන් නිරාකරණය කර ගත හැක.

1. බස් නැවතුම් වල අනවශ්‍ය ලෙස රථය නවතාගෙන සිටීමෙන් වැඩි මගීන් පිරිසක් නංවාගත හැකි බව සිතීම.
2. අනෙක් බසය අභිබවා යෑමෙන් වැඩි මගීන් පිරිසක් ගෙනයාමට හැකි බව සිතීම.

මා යෝජනා කරන්නේ සියලුම පෞද්ගලික සහ රජයේ බස් රථ එක් සමාගමක් යටතට ගැනීමයි. එහෙත් මෙහිදී බස් හිමියන් සතු හිමිකාරිත්වය එලෙසම පවතී. වෙනස වන්නේ තමන් සතු බස් රථ ගෙවීමේ පදනමක් මත 'බස් සමාගම' ට ලබා දීමයි. බස් සමාගම මගින් සියළු පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.
මෙහිදී අපට රියැදුරන් හා කොන්දොස්තර මහතුන් හට නිළ ඇඳුමක් ලබා දිය යුතුය. එයින් ඔවුන් තුල තමන් කරණ රැකියාව කෙරෙහි ගෞරවයක් හා ආත්මාභිමානයක් ඇතිවේ. මා සංචාරය කර ඇති නෙදර්ලන්තය, ස්වීඩනය වැනි රටවල් හි ද ඇත්තේ මෙම ක්‍රමය යි.

තවද, නිතර ගමන් ගන්නා මගීන් හට කාඩ් පත් ක්‍රමයක් ද හඳුන්වා දිය හැක. මෙයින් මුදල් භාවිතය අවම කර ගත හැක.

මෙහි පැමිණෙන මෙම සටහන කියවන ඔබ, මෙහි සඳහන් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඔබේ අදහස් ද දක්වන්න. එමගින් අපට මෙහි ඇති අඩුපාඩු මගහරවා ගනිමින් ඉදිරි පියවරක් තැබිය හැක.

No comments:

Post a Comment

මා මෙහි දක්වා ඇති කරුණු සම්බන්දයෙන් ඔබේ අදහස් කරුණාකර මෙහි ලියන්න. එය මම මහත් අගේ කොට සලකමි.

ස්තූතියි,